Sunday, September 7, 2014
වතුර
පුංචි ගොඩැල්ල මහා ගංවතුර මැද්දෑවෙ ඔලුව උස්සගෙන ඉන්නෙ හරි ආඩම්බරෙන්. ගස් වැල් අඹරගෙන, හරක බාන ගහගෙන ගිය නෙස්ටමෝල්ට් පාට ගංවතුර තමන්ට රිදෙව්වෙ නැති හැටියක්.
පැල ගොයම මතු වෙච්ච මුළු වෙල් යායම සාගරයක් වාගෙ වතුරෙන් යට වෙලා තියනව දැක්කම ලොකුබණ්ඩගෙ බඩ පපුව හෝස් ගාල දාල ගියා. කරේ තිබ්බ උදැල්ල බිම තියල, උදලු මිටට වාරු දීල ඉඳ ගත්තේ කකුල් දෙක ගිඩි ගිඩි ගාල වෙවුලන්ඩ ගත්ත හින්ද.
වැහි බිංදුත් එක්ක දාඩිය බිංදුත් එකතු වෙලා මඩ වතුරට වැටිලා, මහ ඇල දිගේ මගුරු ඔයට ගලාගෙන යන්ඩ ගත්ත. ලොකුබණ්ඩ යන්තරයක් වගේ ලියැදි වල ඇලවල් පාදල, වක්කඩවල් කැපුව. ප්‍රමාණෙන් පුංචි වුණත්, යන වතුර පාර හරස් කරගෙන හිටපු ගොඩැල්ල කපල අයින් කරා.
ආකාසෙ ආයෙමත් වැහි බීරමෙන් වැහිල ගියා. කෘෂිකර්මෙ මහත්තුරු සපත්තු වල මඩ ගෑවෙයි කියල උඩින් උඩින් අඩි තිය තිය බෙල්ල දික් කර කර, බල බලා ගියා. වගා හානිය බලන්ඩ වෙන්නැති. ලොකුබණ්ඩ නොදැක්ක ගානට බිම බලාගෙන උන්න.
Subscribe to:
Posts (Atom)