Monday, September 8, 2014

දහයෙ කොල තුන

ඉදිකට්ටකින් ඇහැට ඇන්නත් පේන්නැති කට්ට කරුවල. ලයිට් ගිහින්. දැන් දවස් කීපෙක ඉඳල සැරෙන් සැරේ ලයිට් යනව. අලුතෙන් කොන්ක්‍රීට් කරපු පාරෙ වල ගොඩැලි නැති හින්ද හොඳයි. නිලූකා අඩිය ඉක්මන් කලා. ටැංකිය හන්දිය හරියට එනකොට කවුරු හරි හීනියට ඉකි ගහන සද්දයක් ඇහුන. නිලූකාගෙ හිත ගස්සුනේ නැතුවම නෙවෙයි. පාලුවට ගිය  හන්දියෙ කඩේ පඩියක ගෑණු කෙනෙක් ඉඳගෙන අඬනවා. මෝහිනී වෙන්ඩ බෑ. ගෑනුන්ට මෝහිනී පේන්නෙ නෑනෙ.

නිලූක කිට්ටු කරල බැලුව. "සරෝජිනී". ඒ පාර නං  නිලූකාගෙ හිත ගස්සුනා.

"සරෝජිනී මොකද මේ මහ රෑ මෙතන ?"

"අනේ බුදු අක්කේ... අර මිනිහා මගෙ බඩට දරුවෙකුත් දීල රටේම ඉන්න වේසියොත් එක්ක බුදියනව. ඒ මදිවට කට ගොන්නක් බීගෙන ඇවිත් මට පන්න පන්න ගහනව. කිලිනික් එකට යන්ඩවත් බස් එකට අතේ සතයක් නෑ"

නිලූක ඉටි මල්ලට අත දාපුවම හිල් උන පර්ස් එක අහු උනා. සන්තකේටම තිබ්බෙ දහයෙ කොල තුනයි. පොඩි උන්ට උයන්ඩ හාල් තුනපහ ටිකක් ගත්තනෙ කාලෙකින්.

"මේක තියාගනිං සරෝජිනියො " 

සරෝජිනීගෙ මිනිහගෙ දාඩිය කුයිලයි, කසිප්පු ගඳයි දහයෙ කොල තුනෙන් දැණුන. නිලූක බයේ උන්නෙ සරෝජිනීටත් දැනෙයි කියල.

Sunday, September 7, 2014

ෆ්ලෝටින් මාකට්




ශාන්ති කීර මිටි බඳින්නෙ ලතාවකට. විනාඩියකට කීර මිටි හත අටක් බැඳල ඉවර කරනව. අතේ හුරුව. කංකුන් දඬු කීපයක්, කතුරුමුරුංග කනිති පහ හයක්, රම්ප කොළ දෙකක්, කරපිංචා කිනිත්තක් එකට තියල කෙහෙල් පට්ටෙකින් ගැට ගහන කීර මිටිය ඉකෙබාන සැරසිල්ලකට ඔබිනව. හැබැයි රම්ප කරපිංච සුවඳ එනකොට මස් හරි මාළු හරි හට්ටියක් මතක් වෙනව.
 
ශාන්ති ඉඳගෙන ඉන්නෙ "ෆ්ලෝටින් මාකට්" එකට මුණ දාල. ඒකෙ අලුත් වහලයි, වීදුරුයි පොඩි එළියටත් මහා දිස්නයක් දෙනව. ශාන්තිට දිහා බලාන ඉන්ඩත් බැරි තරං. ඇහැ ගිනි කන වෙටෙනව. කොහොම උනත් දිහා බලං ඉන්ඩ තරං වෙලාවකුත් නෑනෙ. විගහට කීර මිටි ටික බැඳල ඉවර කරන්ඩ ඕනැ. නැත්තං කීර ගන්ඩ එන අය හැරිල යයි.

මාළු ලෑල්ල




ලීලක්කගෙ කට සැරයි. මාළු ලෑල්ලට ආවම තවත් සැරයි. හැබැයි කාටවත් අහිතකින් නෙවෙයි.
මම මීගමුවෙ ඉඳන් ලීලක්කගෙ ගෙදෙට්ට ඇවිත්, එතනින් ලීලක්කගෙ මාළු ලෑල්ලට ඇවිත් දවස් තුනයි. ලීලක්ක මාළු කපන හැටි බලාන ඉන්ඩ ආස හිතෙනව.  කොරපොතු සුද්ද කරල, වරලයි, ඔළුවයි කපල අයින් කරල ගානට මිම්මට කෑලි කපනව. දකිනකොට මගෙ හීතල ඇඟ හිරි වැටෙනව.

වනිගෙ වත්තෙ බඩදරු අම්ම කෙනෙක් මාළු ගන්ඩ ආවොත් ලීලක්ක සල්ලි ගන්නෙ නෑ. ලීලක්කගෙ ගෙදර තියෙන්නෙ වනිගෙ වත්තෙ. ලෑලි ගහපු පොඩි ගෙදරක්. ඉන්නෙ ලීලක්කයි, පුතයි, දුවයි. මිනිහ දාල ගිහිං තියෙන්නෙ ළමයි පොඩි කාලෙමයි. පොඩි උන්ට කන්ඩ දෙන්ඩ විදිහක් නැති තැන, සුන්දරේ මුදලාලිට පින්සෙන්ඩු වෙලා මාළු ලෑල්ල කුලියට ගත්තලු. ඒකට ඉතුරු කරගෙන හිටපු සබ්බ සකලමනාවම ගියා කියල තමයි ලීලක්ක කියන්නෙ. මම අහගෙන හිටියෙ ලීලක්ක මේ විස්තරේ අලුතෙන් පත්වෙලා ආපු ග්‍රාමසේවක මහත්තයට කියනව

හෙට දිහාට ලීලක්ක කිසි අනුකම්පාවක් නැතුව ගානට මිම්මට මාවත් කපල දායි.