Monday, September 8, 2014

දහයෙ කොල තුන

ඉදිකට්ටකින් ඇහැට ඇන්නත් පේන්නැති කට්ට කරුවල. ලයිට් ගිහින්. දැන් දවස් කීපෙක ඉඳල සැරෙන් සැරේ ලයිට් යනව. අලුතෙන් කොන්ක්‍රීට් කරපු පාරෙ වල ගොඩැලි නැති හින්ද හොඳයි. නිලූකා අඩිය ඉක්මන් කලා. ටැංකිය හන්දිය හරියට එනකොට කවුරු හරි හීනියට ඉකි ගහන සද්දයක් ඇහුන. නිලූකාගෙ හිත ගස්සුනේ නැතුවම නෙවෙයි. පාලුවට ගිය  හන්දියෙ කඩේ පඩියක ගෑණු කෙනෙක් ඉඳගෙන අඬනවා. මෝහිනී වෙන්ඩ බෑ. ගෑනුන්ට මෝහිනී පේන්නෙ නෑනෙ.

නිලූක කිට්ටු කරල බැලුව. "සරෝජිනී". ඒ පාර නං  නිලූකාගෙ හිත ගස්සුනා.

"සරෝජිනී මොකද මේ මහ රෑ මෙතන ?"

"අනේ බුදු අක්කේ... අර මිනිහා මගෙ බඩට දරුවෙකුත් දීල රටේම ඉන්න වේසියොත් එක්ක බුදියනව. ඒ මදිවට කට ගොන්නක් බීගෙන ඇවිත් මට පන්න පන්න ගහනව. කිලිනික් එකට යන්ඩවත් බස් එකට අතේ සතයක් නෑ"

නිලූක ඉටි මල්ලට අත දාපුවම හිල් උන පර්ස් එක අහු උනා. සන්තකේටම තිබ්බෙ දහයෙ කොල තුනයි. පොඩි උන්ට උයන්ඩ හාල් තුනපහ ටිකක් ගත්තනෙ කාලෙකින්.

"මේක තියාගනිං සරෝජිනියො " 

සරෝජිනීගෙ මිනිහගෙ දාඩිය කුයිලයි, කසිප්පු ගඳයි දහයෙ කොල තුනෙන් දැණුන. නිලූක බයේ උන්නෙ සරෝජිනීටත් දැනෙයි කියල.

2 comments:

  1. අනේ මන්දා බං... මේවට කියන්න වචන නෑ!

    ReplyDelete
  2. ඔය උඹ කියල තියෙන්නෙ

    ReplyDelete